පමා වැඩී ඔබ පමා වැඩී

ඉස්සරහ තියෙන පොඩි ටීවී ස්ක්‍රීන් එකේ ලන්කාවේ සිතියම පේනව. ඒකේ තියෙන විදියට දැන් ප්ලේන් එක යන්නෙ අනුරාධපුර උඩින්. මම ජනේලෙන් එලිය බැලුවා නිමේෂාගේ ගෙවල් පේනවද කියල. සුදුපාට වලාකුලු ඇරෙන්න වෙන මුකුත් පේන්නෙ නෑ. මටත් පිස්සු. හොඳටම පිස්සු. එයා දැන් මොනව කරනවද දන්නෙ නෑ. සමහර විට බලාඅගෙන ඇති. එයා දන්නවනේ මම ලෑන්ඩ් කල ගමන් sms එකක් එවනව කියල.

ඉස්සර කාලෙ අපේ වැඩිහිටියෝ මගුල් තුලා කරගත්තේ කපුවෝ දාල. පස්සෙ කාලෙකදි ඒ වැඩේ පත්තර භාර ගත්තා. අද ඒකත් ඔන්ලයින් වෙලා. තාක්ෂණය වෙනස් වෙන එක මිනිස් සම්භන්ධකමුත් වෙනස් කරනව. මට එයාව හම්බ උනේ මූණුපොතෙන්. දැන් අලුත්ම trend එක ඒකතමා. එයා අපි දෙන්නගෙන යාලුවෙකුගේ පින්තූරයකට කමෙන්ට් කරල තිබ්බ. මමත් ඒකට කමෙන්ට් කලා. එහෙම තමා අපි හම්බ උනේ. ඒක අන්තිමට යන්න පුලුවන් උපරිම දුර ගියා. මුලින් ෆේස්බුක් චැට්, ඊ ලඟට යාහූ, ඊ ලඟට ස්කයිප්….. මාස 3-4 කට පස්සෙ MC එකේදි හම්බ උනා.

මම ඔය කිසි දෙයක් සීරියස් ගන්න ජාතියේ කෙනෙක් නෙමේ. මට ඒ වෙනකොට ඔය වගේ හම්බ වෙච්ච අය කීප දෙනෙක්ම හිටියා. ඒත් කිසිම සම්බන්ධයක් සීරියස් කරන්න මට හිත් දුන්නෙ නැත්තේ මොකද කියල මම දන්නෙ නෑ. සමහර විට මම විවාහය කියන සංස්ථාව ගැන විශ්වාස කරන්නෙ නැති නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් අවුරුදු 2-3 කින් ලංකාවෙන් යන්න ඉන්න හිතන් ඉන්න නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් කැම්පස් වැඩ, එතකොට මගේ පාර්ට් ටයිම් ජොබ් එක අතරේ ආදරේ කරන්න වෙලාවල් හොයා ගන්න නති නිසා වෙන්න ඇති. ගොඩක් කෙල්ලන්ට ඕන විනාඩි 5 න් 5ට කෝල් කර කර කෑවද, බිව්වද, චූ කලාද කියල අහන ජාතියේ බොලඳ ආදරයක්. ඒත් මම පොඩි එකෙක් නෙමේ. මට වයස 25කටත් වැඩී. මට බබෙක් වෙන්න බෑ. බබ්බු නලවන්නත් බෑ. ඒ මගේ හැටි. මේ හේතු නිසා මම ඔය කිසිම එකක් සීරියස් ගත්තේ නෑ.

නිමේෂා හරි පුදුම කෙල්ලෙක්. අමුතුම ජාතියේ කෙල්ලෙක්. ගම අනුරාධපුරේ උනත් මාර විදියට නවීන කාලෙට අනුව හිතන කෙනෙක්. බොහොම නිදහස්ව හිතන කෙනෙක්. අපි කතා කරල තිබුන මේ ප්‍රශ්න ගැන. එයාත් මම වගේම හිතන කෙනෙක් කියල තමා මට තේරුනේ. අපි හම්බ වෙච්ච මුල් දවසෙම අපි කතා කලා මේ ගැන. MC එකේ roots එකෙන් ෆලූඩා දෙකක් අරන් ඒක බොන ගමන් අපි කලේ මේ බොලඳ ආදරේ කරන කෙල්ලො කොල්ලො ගැන විහිලු කරපු එක.

එකම විදියට හිතන නිසා මගෙයි නිමේෂාගෙයි යාලුකම නැගල ගියා. සාමාන්‍යයෙන් මට වෙන්නෙ මේ වගේ ඔන්ලයින් හම්බවෙන අය ඇත්තට හම්බ උනාට පස්සෙ කෝල්, චැට් අඩු වෙන එක. ඒත් නිමේෂා හම්බ උනාට පස්සෙ ඒවා තවත් වැඩි උනා. නිමේෂා වැඩ කලේ කෝල් සෙන්ටර් එකක. ඒ නිසා සමහර වෙලාවට අපට කතා කරන්න උනේ මහ රෑ. ඒත් කොහොම හරි දවසකට එක පාරක් හරි අපි කතා කරනව.

සාමාන්‍යයෙන් කොල්ලෙක් තමා කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්නෙ. හම්බවෙලා මාස 6-7 ගියත් මම ඒක කලේ නෑ. ඒ මට තාම මේ විදිහේ සම්භන්ධයක් ගන විශ්වාසයක් නැති නිසා. මුකුත් නොකිව්වාට අපි දෙන්න හැසිරුනේ කපල් එකක් වගේ තමයි. අපි දෙන්නගෙම යාලුවෝ හිතන් හිටියේ එහෙමයි.

එක දවසක් අත් අල්ලගෙන ගල්කිස්සෙ මුහුදු වෙරලෙ ඇවිදගෙන යන ගමන් නොහිතපු වෙලාවක එයා මට ඒ වචන තුන කිව්ව. මම ඒක පොඩ්ඩක්වත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමේ. මට දෙන්න උත්තරයක්, කියන්න දෙයක් තිබුනේ නෑ. මම හිතන්නෙ එයා මගෙන් ඒ වෙලාවෙ උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ. අපි දෙන්නම කිසිම කතාවක් නැතුව ගෙවල් වලට ගියා.

මට මේදේ උන පලවෙනි වතාව නෙමේ මේ. ඒ හැම වෙලාවකම මම කලේ හිමින් සැරේ මග අරින එක. ඒත් මේ වෙලාවේ මට ඒක කරන්න හිත දෙන්නෙ නෑ. මම එයාට කෝල් කරල මගේ තත්වය පැහැදිලි කරල දුන්න. “ඒකට කම්ක් නෑ තරිඳු. මම දන්නව ඔයා බැඳීමක් ඇති කරගන්න කැමති නෑ කියල ඒත් මට මගේ හිතට අගුලු දාල නවත්තන්න බෑ.” එහෙමයි එයා උත්තර දුන්නෙ. මම එයාට කැමතියි. ගොඩක් කැමතියි. ඒත් මම වගකීමෙන් බැඳීමක් ඇතිකරගන්න සූදානම්ද ?

ඊට සතියකට පස්සෙ තමා මට ලංකාවෙන් යන්න උනේ මාස 3කට. මම ගොඩක් කල් ඉඳල බලාපොරොත්තු උන ට්‍රේනින් එකකට. අද තමා මේ ආපහු එන්නෙ. ඒ හිටපු කාලේ ඇතුලත මම හමදාම එයාට sms කලා. සතියට වතාවක්වත් කෝල් කලා. ඒ මාස තුන මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරපු මාස තුනක්. නිමේෂාගේ අඩුව මට මෙච්චර තදින් දැනෙයි කියල මම හිතුවේ නෑ. නොදැනුවත්වම මම කොච්චර එයාට බැඳිලද කියල මට තේරෙන්න එයාගෙන් වෙන්වෙලා හිටපු මාස තුන උදව් උනා. මම මගේ බැක්පැක් එක ඇරල සියවෙනි වතාවටත් බැලුව නිමේෂට ගත්ත තෑග්ග තියෙනවද කියල. එයා ඒකට කැමති වෙයිද ?

පොඩි ගැස්සිල්ලකුත් එක්ක ප්ලේන් එක ලෑන්ඩ් කලා. ගුවන් සේවිකාවෝ කොච්චර කෑගැහුවත් කට්ටිය නැගිටලා දොර ගාවටත් ගිහින් ඉවරයි ප්ලේන් එක හරියට පාර්ක් කරන්නත් කලින්. මම කලබලයක් නැතුව වාඩි වෙලා හිටියා. නිමේෂාට කෝල් කරන්න ඕන නිසා මම ෆෝන් එක ඔන් කලා. ඒත් එක්කම මැසේජ් 4-5ක් ම ආව. නිමේෂගෙනුත් එකක් තිබ්බ මම ඒක ඕපන් කලා කියවන්න.

“මට සමාවෙන්න. මට හැමදාම ඔයා ගැන හිත හිත බලන් ඉන්න බෑ. ඒ නිසා මම ගෙදරින් ගෙනාව යෝජනාවකට කැමති උනා. මගෙන් ආයෙත් ඔයාට කරදරක් නෑ. සමාවෙන්න මට.”

නිමේෂාට ගෙනාව තෑග්ග බෑග් එකෙන් එලියට අරගෙන මම ඒ දිහා බලාගෙන හිටියා. තෑග්ග ඔතල තිබ්බ කොලේ තිබුනු ඒ වචන තුන හිමිහිට බොඳ වෙලා පහලට කඩා හැලුන.