මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

අර කල්පා සහෝදරීට පිරිමි පෙන්නන්න බෑ. ඉතින් හැමදාම පුරුසයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. ඔය වෙලාවට ඉතින් අපේ රොෂාන් සහෝ කාන්තාවන්ට විරිද්ධව පාවිච්චි කරන පාලි සහ සංස්කුරුත වචන දෙකක් තියෙනවා. ඒ ද්වංගුලපඥ්ඥ (දෑඟුල් නුවණැත්තී) සහ නරකමාර්ගස්‍යද්වාරදීපිකා (නරකයට යන මාර්ගයේ දොර එලිය කරන්නී). පලවෙනි එක පාලි. දෙවනි එක සඟිස්කුරුත. ඔය දෙකම බ්‍රාහ්මණයො කාන්තාවන්ව හඳුන්වපු වචන මිස ‍රොෂාන් නිර්මාණය කරපුවා නෙමේ ඕං. අනේ විහිලුවට ඔහොම කිව්වට රොෂාන් කොලුවා කාන්තාවන්ට හරියට ගරු කරනවා.

කෙසේ වෙතත් මම අපේ සඟරාවට ලිපියක් ලියන්න ත්‍රිපිටකේ අවුස්සනකොට ඔය පාලි වචනේ හම්බවුනා. ඒක තිබ්බ තැනත් මරු. සංයුත්ත නිකායේ, සගාථ වග්ගයේ, භික්කුණී සංයුත්තයේ තමා තිබුනේ. මේ සම්පූර්ණ කොටසෙම තිබ්බෙ මාරයා ඇවිත් අපේ භික්ෂුණීන්ව නොමග යවන්න උත්සාහ කරපුවා. අපේ ධෛර්යවන්ත, නුවණැති භික්ෂුනීන් ටික ඉස්සරහා මාරයා නෝන්ඩි වෙච්ච හැටි අපේ කාන්තා විමුක්තියේ දෝංකාරය වගේ සහෝදරියෝ කියවලා බලන්න. මම එක සීන් එකක් කියන්නම්.

ඕන් ඉතින් එක දවසක් උදේ සෝමා නම් භික්ෂුණියක් පුරුදු පරිදි පිණ් ඩපාතෙ වැඩල, දානේ වලඳල, දිවා විහරණය කරන්න අන්ධවනයට ගියා. මේ දිවා විහරණය කොරනව කිව්වෙ රෙස්ට් කොරනවට හොඳේ. ඉතින් මේක දැකපු පාපී, දුශ්ට, අධම, නීච, තුච්ච, පුරුසාදිපත්තෙන් ඔඳවැඩිච්චි, මාරය ඇවිදින් මෙන්න මෙහෙම කිව්ව.

“ඔය අඟල් දෙකේ නුවණක් තියෙන ගෑනුන්ට පුලුවන්ද උසස් ඉසිවරයො විසින් ලැබියයුතු, දුර්ලභ ඒ (රහත් බව) පදවිය ලබා ගන්න ?”

එතකොට සෝමා භික්ෂුනිය මෙහෙම කිව්ව.

“අනේ බොල මාරයො, හිත සමාධිගත වේලානම්, මොලේ තියෙනවනම්, ධර්මය දන්නවනම් ගෑණියෙක්ද මිනිහෙක්ද කියල වෙනසක් නෑ. කව්රුහරි මම මිනිහෙක්, මම ගෑනියෙක්, එහෙම නැත්නම් ඒ දෙකටම නැති එකෙක් කියල ඔලුව උදුම්මගෙන ඉන්නවනම් අන්න ඒ අයට ඕක ගිහින් කියාගන්න එකයි ඇත්තෙ”

අනේ ඉතින් මේ සෝමා භික්ෂුණිය පිරිමි ගෑණුන්ට උසස් කියල හිතන් ඉන්න පිරිමින්ටයි, තමන් පිරිමින්ට උසක් කියල හිතන් ඉන්න ගෑණුන්ටයි ඔක්කොටම හොඳ උත්තරයක් තමා දුන්නෙ. ත්‍රිපිටකය තියෙන අය මේ භික්ඛුණී සංයුත්තය කියවන්න. නැති අය හොයාගෙන හරි කියවන්න. විශේෂයෙන්ම කාන්තා දිනේට විතරක් එලි බහින කාන්තා සංවිධාන වල නෝන මහතැන්ල.