ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

පලවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර නිසා තව ටිකක් මේක ලියන්න ඕන කියල හිතුවා. ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ මම මහණ වෙච්චි දවසේ විස්තර. මේක උනේ වසර දෙදහස් පහක් වූ නවම් මස විසි පස් වෙනි දිනයි. සිංහලෙන් කිව්වොත් 2005-02-25. ස්ථානය කෑගල්ල කිට්ටුව සුන්දර ගම්මානයක පන්සලක්. මම මුලින් මහණ වෙන්න හිටියේ කෑගල්ලෙ නෙමේ ගාල්ලෙ. ඒක තවත් අතුරු කතාවක්. ඒක පස්සට.

මහණ කිරීමක් දැකල නැති අයට දැනගන්න එක්ක මම කියන්නම් වෙච්ච දේවල් පින්තූරත් එක්ක. ඕං අහගන්න, බලාගන්න. සිද්ධ වෙන පලවෙනි දේ තමයි දෙමව්පියන් විසින් දරුවාව (ඒ කියන්නෙ මාව) නිල වශයෙන් පන්සලට භාර දීම. මේ පහල තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒක තමා.


ඕං ඉතින් අම්මයි තාත්තයි මාව සාසනේට පූජ කොලා. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තමන්ගේ වැඩිහිටියන්ගෙන් වැඳල අවසර ගන්න එක. ඒක බොහොම හැඟුම්බර අවස්ථාවක්. මොකද කියනවනම් බොහෝ දෙනෙකුට තමන්ගේ දෙමවුපියන්ට වඳින්න පුලුවන් අන්තිම අවස්තාව තමා ඒ. මමත් ඉතින් වඳින්න තියෙන ඔක්කොටම වැන්දා.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සංඛේතාත්මක පලමු කෙස් රොද කැපීම. කෙස් කියන එකේ තවත් විශේෂත්වයක් තියෙනවා. දෙතිස් කුණුපයන්ගෙන් පලමු එක තමා කෙස්. ඒ නිසා ඒ වෙලාවෙදි තච පන්චකය, ඒ කියන්නෙ දෙතිස් කුණුපයන්ගේ පලවෙනි කොටස් 5 (කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ) සිහි කරනවා. මගේ පලමු කෙස් රොද කැපුවේ අපේ ගමේ පසලේ හාමුදුරුවො. උන්වහන්සේත් ආව මගේ මහණ පින්කමට මට සපෝර්ට් එකට. ඒ කෙස් රොද කපල මගේ අතට දෙනවා. ඒක අතේ තියාගෙන ඉන්නවා ටික වෙලාවක් යනකම්. ඔය පලමු කෙස් රොද කපපු එක තමා පහල පින්තූරෙ තියෙන්නෙ.


ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ තට්ටෙ ගාල හොඳට ගිහි ගඳ යනකන් කහ එහෙම ගාල නාගන්න එක. ඔන්න මගේ කෙස් කපපු එකේ පින්තූරයකුත් තියෙනවා පහල.


සැ.‍යු. :- මගේ කටු බොඩිය දැක වශී වී මට සෙනෙහෙ කොල එවීම තහනම්. තවද අර පොඩ්ඩට කලා වගේ නිරුවත් ඡායාරූප ඇතැයි කියා මූණුපොත් අධිකාරියට, SBU එකට, ප්‍රසිද්ධ ‍රැඟුම් පාලක මණ්ඩලයට ආදී ආයතනවලට ඊ මේල් යැවීමෙන් වැලකීම මනාය.

ඔන්න ඉතින් නාල කරල ඉවර වෙලා ඇඳගන්නවා සුදු සරමයි, එකට මහපු උතුරු සලුවක් වගේ එකකුයි. පින්තූරෙ පහල තියෙනවා. ගෑණු ලමයි ඒක දැකල නවීන පන්නෙ බ්ලවුස් එකක් කියල කොපි කරනව හෙම නෙමේ ඔන්න. තව රත්තරනුත් දානව. කිරි ගොට්ටක් වගේ මහපු එකකින් තට්ටෙත් වහනව.


අදට ඉවරයි ඉතුරු කොටස බලාපොරොත්තු වන්න. මේ දවස් වල වැඩ වැඩී මෙයාල. ඒක නිසා “මං බිසී දවසේ -බැරිය බ්ලොග් කෙරුවාව පෙරසේ”