තරහ ගියාද ?

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක සුර අසුර යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න. නුවණැති වේපචිත්ති අසුර නායකයාට තේරුනා යුද්ධය ඇවිලුනොත් දෙපැත්තටම ගොඩක් හානි වෙනවා කියල. ඒ නිසා වේපචිත්ති ගියා සක්‍ර දෙයියෝ, ඒ කියන්නෙ සුරයන්ගේ (ඉනේ, කරේ බඳින සුර නෙමේ) නායකයා හම්බ වෙන්න.

“මචං සක්‍ර. වලිය පටන් ගත්තොත් දෙපැත්තටම අම්බානකට කන්න වෙන්නෙ. අපි මේක ගොඩින් බේරගමුද ?”

සක්‍ර දෙයියන්ටත් තේරුනා යකා උනත් මේකා කියන්නෙ ඇත්ත කියල. ඒ නිසා සක්‍ර දෙයියෝ ඇහුවා;

“මොකද්ද දැන් වේපචිත්ති යෝජනා කරන්නේ ?”

“අපි ධර්ම යුද්ධයක් කරමු. මේ ඩිබේට් එකක්. ඒකෙන් දිනන කෙනාගෙ පැත්ත දිනුම්”

සක්‍ර දෙයියොත් ඒකට කැමති වුනා. ඊට පස්සෙ දෙන්නත් එක්ක එකතුවෙලා විනිශ්‍චය මණ්ඩලයක් පත් කලා. ඔන්න ඉතින් විවාදේ දවස ආව. සුර, අසුර ඔක්කොම දෙපැත්තේ ඉඳන් වාඩි වෙලා ඉන්නවා.

“වේපචිත්ති උඹනේ වැඩිමහලා, ඒ නිසා පටන් ගනින් මචං” සක්‍ර දෙයියෝ කිව්ව.

“නැවැත්තුවේ නැත්නම් මෝඩයන්ට හොඳටම මල පනිනවා. ඒ නිසා මොලේ තියෙන එකා කරන්න ඕනේ තඩි පොල්ලක් අරගෙන ඒකව නවත්තන එක.” අසුර රජ්ජුරුවෝ වේපචිත්ති කිව්ව

එතකොට ඊට උත්තර විදියට සක්‍ර දෙයියෝ මෙහෙම කිව්ව.

“ඒකට මල පැනල කියල දන්නවානම් කරන්න තියෙන හොඳම දේ තමා සන්සුන් වෙන එක. ඒකම තමා නියම විදියට බාලයාගේ වැලකීම.” (සටහන් 1)

මේ සුර අසුර රජවරු අතර ඇතිවුනු විවාදය ඇත්තටම කියනවනම් කාලාන්තරයක් තිස්සේ අපි අතර පවතින විවාදයක්. ඒ දෙන්නට තරහ ගිය කෙනෙක් එක්ක කෝමද කටයුතු කරන්නේ කියන එක ගැන තිබුනේ සම්පූර්ණ ප්‍රිතිවිරුද්ධ මත දෙකක්. සක්‍ර දෙවියෝ කිව්වෙ ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෙ කියල. අසුර රජ්ජුරුවෝ කිව්වේ පොල්ලක් අරන් තඩි බාන්න ඕනෙ කියල. ඇත්තටම මොකද්ද මේ දෙකෙන් හරි දේ ? බුදු හාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී මෙහෙම කිව්ව.

“තරහ ගිය කෙනා ගැන තරහා අරන් කටයුතු කලොත් වෙන්නේ තත්වය තවත් බරපතල වෙන එක. මේ වගේ වෙලාවලදී ඉවසීමෙන් කටයුතු කරන්න පුලුවන් කෙනා දිනන්න අමාරු යුද්ධයක් දීනූවෙක් වෙනවා.” (සටහන් 2)

අපි ඉගනගෙන තියෙන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සන්සිඳේ කියල. (සටහන් 3) මේ කතාව හරි ෂෝක් පොත් වල ලියන්නයි බණට කියන්නයි. එතකොට ඔක්කොමල සාධු සාධු කියල අනුමතත් කරනවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ ඔහොමද මේක ‍රායෝගිකව කරන්නෙ ? අර උඩින් සඳහන් කල විවාදයේදී වේපචිත්ති අසුරයා ඉවසීමෙන් කටයුතු කිරීම ගැන මේ ප්‍රශ්නය ඇහුවා.

“ඉවසුවොත් වෙන්නෙ ඒකා හිතනවා අපි ඉවසන්නෙ බයෙන් කියල එතකොට වෙන්නේ අපිට තව තවත් පස්සෙන් එලවන එක.” (සටහන් 1)

වේපචිත්ති අසුරයා කියපු දේ ඇත්තටම අපේ හිතටත් ඇතිවෙන ප්‍රශ්නයක්. මම මොකටද ඉවසන්නෙ ? ඒ කියන්නෙ පරාජය භාර ගත්තා කියල. මම නෙමේනෙ පටන් ගත්තේ. ඌ හිතයි මම ඌට බයේ කියල. ඕව තමා අපට ඇතිවෙන සිතුවිලි. කව්රු හරි කෙනෙක් අපට වැ‍රැද්දක් කලාම පලිගැනීමේ ආශාව අපට ඇතිවෙන්නෙ නිරයාසයෙන්මයි. මට ගහපු එකාට ගහන්න පුලුවන් උනානම් ඇත්තටම මට අමුතු ආතල් එකක් එනවා. අපී ඕනතරම් අහල තියෙනවා කට්ටිය කියනවා. “පාරක් දෙකක් කෑවට මොකෝ මම ඌට හොන්ඩට නෙලුවනේ” කියල. පලිගැනීම සාර්ථකනම් එච්චර්යි ඕනෙ. තරහ සහ පලිගැනීම නරක දෙයක් බව අපි හැමෝම දන්නවා. ඒ උනාට මොකෝ මේවා අපට සතුටක් ඇති කරන්නෙ ? දේවතාවෙක් එකතරා අවස්තාවකදී බුදු හාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා.

“කුමක් නසා සුවෙන් වෙසෙයිද ? කුමක් නසා ශෝක නොකරේද ? ගෝතමය කුමකගේ නැසීම කැමැත්තෙහිද ?”

ඒකට බුදුහාමුදුරුවෝ මෙහෙම උත්තර දෙනවා.

“ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. එයම නැසීමෙන් ශෝක නොකෙරේ. මිහිරි අගකින් හා විශ මුලකින් යුක්ත වූ ක්‍රෝධය නැසීමම ආර්යයෝ පසසයි”. (සටහන් 4)

බුදු හාමුදුරුවෝ “ක්‍රෝධය නැසීම” ගැන කතා කරන අතරතුරේදී ඒකට ලස්සන තේරුමක් දෙනවා “මිහිරි අගකින් හා විශ මුලකින් යුක්ත වූ” කියල. මිහිරි අගකින් යුක්ත වෙන්නේ අපට මේ දැනෙන තාවකාලික සතුට නිසා. ගහක මුලට විශ දැම්මොත් මොකද වෙන්නෙ ? ටිකෙන් ටික මුලු ගහටම විශ පැතිරිලා ගහ මැරිල යනවා. ඒ වගේ වෛරයත් අපේ හිතේ පැතිරිලා අපේ ජීවිත විනාශ කරන්න පුලුවන්. පලිගැනීම ඒ අවස්ථාවේ සතුටක් ඇති කලත් පස්සට කරදර ඇති කරන්න පුලුවන්. ඒ කෙනා අපෙන් නැවත පලිගන්න උත්සාහ කරයිද කියල නිතරම බයෙන් ඉන්න වෙන්නෙ. ක්‍රෝධය වෛරයටත්, වෛරය යුද්ධයටත් මග පාදනවා. බුදු හාමුදුරුවෝ අක්කෝස භාරද්වාජ බමුණට කිව්ව වගේ;

“කෙනෙක් ඇවිස්සිලා කියල දැනගෙන සිහි බුද්ධියෙන්, ඉවසීමෙන් කටයුතු කරන්න පුලුවන් කෙනා තමන්ට මෙන්ම අනුන්ටත් කරන්නේ යහපතක්. ඒ කෙනා මෝඩයෙක් කියල හිතන කෙනා ධර්මය ගැන කිසිවක් දන්න කෙනෙක් නෙමේ.” (සටහන් 2)

ඔබ තෝර ගන්නෙ මොන ක්‍රමේද ? සක්‍ර දෙවියන්ගේද ? වෙපචිත්ති අසුරයාගේද ?

———සටහන්——————-

සටහන් 1 – සංයුත්ත නිකාය – සගාථ වග්ගය – සක්ක සංයුත්තය – සුවීර වර්ගය – සුභාශිත ජය සූත්‍රය

සටහන් 2 – සංයුත්ත නිකාය – සගාථ වග්ගය – බ්‍රාහ්මණ සංයුත්තය – අරහන්ත වර්ගය – අක්කෝස සූත්‍රය

සටහන් 3 – දම්මපදය – යමක වග්ගය – 5 ගාථාව

සටහන් 4 – සංයුත්ත නිකාය – සගාථ වග්ගය – දේවතා සංයුත්තය – ජාතව වර්ගය – ජාතව සූත්‍රය