ත්‍රිපිටකයේ කාන්තාවට නිසි තැන ලැබී ඇත්ද ?

බුදු රදුන් පහල වුණු කාලයේ කාන්තාවට තිබුණු තැන ගැන බොහෝ දෙනෙක් කියවා අසා ඇති. පුරුෂ මූලික, බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට හිමි උනේ ශුද්‍රයන්ට හිමිවුණු තැනට වැඩි තැනක් නොවේ. මනුස්මෘථියේ සඳහන් වන ආකාරයට කාන්තාවට මෝක්ෂය ලැබිය හැකි එකම මාර්ගය සැමියාට කීකරු වීමයි. ගැහැණු දරුවෙක් ඉපදීම අසතුටට කාරණයක් ලෙස එදා සැලකුණා.

තමන්ට දුවක් ඉපදුනු බව දැනගෙන අසතුටට පත් වෙච්ච කොසොල් රජතුමාට බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ඒ ඒ තැන් වලදී කාන්තාව පුරුෂයාට වඩා ශ්‍රේෂ්ඨ වන බවයි. මෙවැනි තැන් ත්‍රිපිටකයේබොහෝ තැන් වලින් ගෙන පෙන්විය හැකි උනත්, එය මා නොකරන්නේ ඕනතරම් අය මීට කලින් එය කර ඇති නිසා.

මේ අතරම බුදු රදුන් කාන්තාව පිලිබඳ දැක්වූ අදහසේ වෙනස් වීම් යම් තැන් වලදී දැක ගන්න පුලුවන්. කාන්තාව පිලිබඳ කෙසේ පිලිපැදිය යුතුද කියා අසන ප්‍රශ්නයකට බුදු රදුන් දෙන්නේ තරමක් විවාදාත්මක පිලිතුරක්.

“ස්වාමීනි, අප කාන්තාවන් කෙරේ කෙසේ පිලිපැදිය යුතුද ?”
“ආනන්ද, නොදැකීමෙනි.”
“ස්වාමීනි, දුටුවොත් කෙසේ පිලිපැදිය යුතුද ?”
“ආනන්ද, කථා නොකිරීමෙනි.”
“කථා කරන්නේනම් ස්වාමීනි, කෙසේ පිළිපැදිය යුතුද?”
“ආනන්ද, සිහි එළවිය යුතුය

එක එක ආකාරයෙන් අර්ථ දැක්විය හැකි උවත් මේ පිලිතුර එච්චරටම “බෞද්ධ” හැඩයක් නොගන්නා බවයි මගේ මතය. කාන්තාව පිලිබඳ පරස්පර විරෝධී ආකල්ප වඩා හොඳින් පැහැදිලි වෙන්නේ “අෂ්ඨ ගරු ධර්ම” යන කාරණාවෙන්. කාන්තාවට පැවිද්ද නොදීමට තී‍රණය කිරීම ගැන සාධාරණීය කරණය කරන බොහෝ දෙනාගේ මතය මහාවීරගේ සාසනය කාන්තා පැවිද්ද නිසා විනාශ වීම මේ තී‍රණයට හේතු උනු බවයි. ඒ උනත් ඒ කාරණය ඇත්තනම් එයින් පෙනෙන්නේ බුදු රදුන් සාසනය නැමති සංවිධානය ඇති වීමට හේතු වූ කාරණා වලට වඩා වැදගත්කමක් සංවිධානයට දී ඇති බව නොවේද ? ඒක හරියට කාන්තා විමුක්තිය යකාට ගියාවෙ, සාසනේ තිබ්බොත් ඒ ඇති කිව්වා වගේ නොවේද ?

මොහොතකට ඒ කාරණා සාධාරණයි කියා අමතක කරමු. අවසානයේ කාන්තාවන්ට පැවිද්ද දෙන්න බුදු රදුන් සූදානම් වෙන්නේ බොහොම අසාධාරණ කාරණා 8 කට යටත්ව. මෙයින් කීපයක් ගැන සඳහන් කලොත්;

1.උපසම්පදාවෙන් වසර සීයක් ගත් උවද භික්ෂුණිය එදින උපසපන් භික්ෂුවට අභිවන්දනාදිය කල යුතුය.

මේ කාරණය බුදු රදුන් කොසොල් රජ්ජුරුවන්ට කී දේ (කාන්තාව පුරුෂයාට වඩා ශ්‍රේෂ්ඨ විය හැක) එක්ක සංසන්දනය කරල බලන්න. සිල් ගත්ත කෙනෙක්ගේ වයස නොබලා සිල් නොගත්ත කෙනා ගරු කරන්නේ සීලයෙන් උසස් නිසා. තමන්ට වඩා සීලයෙන් වැඩි කෙනෙක්ගෙන් වැඳුම් ගැනීම පවක් බව අපි කව්රුත් දන්න කාරණයක්. උපසම්පදා සීලය අව්රුදු 100ක් රැක්ක කෙනෙක්, උපසම්පදා සීලය දවසක්වත් රැක්කෙනැති කෙනෙක්ට වැඳිය යුතුයි කියල කියන එක කොච්චර “බෞද්ධ” කතාවක්ද කියල අපි නැවත හිතා බැලිය යුතුයි.

2. භික්ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක නොමැති ප‍්‍රදේශයක වූ මෙහෙණවරක වස් නො විසිය යුතුය.

3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂූ සංඝයාගෙන් පොහොය විචාල යුතුය. අවවාද දීමට භික්ෂුවක ගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතුය.

4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්ෂුණිය, දෙ සතියකට නො අඩු කාලයක් උභයව සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතුය.

6. උපසම්පදාව ලබනු කැමැති මෙහෙණිය, අවුරුද්දක් ම ශික්ෂමානාවකව (පුහුණු වන්නියකව) මෙහෙණින් ළඟ විසිය යුතුය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණියක විසින් භික්ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර, භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතුය


මේ කාරණා ගැන එකින් එක ගෙන හිතා බැලීම මම ඔබට භාර කරනවා. මේවා කොතරම් කාන්තාව ගැන බුදු රදුන් දැක්වූ ආකල්පය එක්ක එකඟ වෙනවද කියල තීරණය කිරීම ඔබට භාරයි.

ඉහත කී පලවෙනි ගරු ධර්මය ඉවත් කරන ලෙස ගෝතමිය බුදුරදුන්ගෙන් ඉල්ලුවත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කල බවත්, ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේ භික්ෂුණීන්ට වඳින භික්ෂූන්ට දුකුලා ඇවැත් වන බවට නීති පැනවූ බව සඳහන්. මෙයට හේතුව ලෙස දක්වනේ “ධර්මය නොදන්නා අන්‍ය තීර්ථකයන් මාගමුන්ට වන්දනා නොකරන බවයි.” නමුත් මෙතන ප්‍රශ්නය ඇති වී ඇත්තේ බුදු සසුන තුල මිස ඉන් පිටත නොවේ නේද ?

බුදුරදුන් කොපමණ උත්සාහ කලත් කාන්තාව පිලිබඳ සමාජීය මතය වෙනස් කරන්න බැරිවුණු බවට සාක්ෂි ත්‍රිපිටකයෙන්ම හොයාගන්න පුලුවන්. බුද්ධ පරිනිර්වාණය ආසන්න කාලයකදී ප්‍රජාපතී ගෝතමිය පි‍රිණිවීමට බුදු රදුන්ගෙන් අවසර ඉල්ලීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ පවසන්නේ “කාන්තාවගේ හැකියාව ගැන සැක කරන අයගේ දැනගැනීම පිණිස” ප්‍රාතිහාර්ය දක්වන ලෙසයි. මෙයින් පෙනෙන්නේ අවුරුදු 45ක කාලය ඇතුලතදී උන්වහන්සේට ඒ ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කල නොහැකි වූ බවයි. පලවන ධර්ම සංගායනාව අවසානයේ ආනන්ද තෙරුන්ට එල්ලවන චෝදනාවන්ගෙන් එකක් වන්නේ කාන්තාවන්ට පැවිද්ද දීමට කටයුතු කිරීමයි. රහත් උවත් බමුණු මත නැති වී නැති බව මින් පෙනී යනවා.

ත්‍රිපිටකයට පසු කලයේදි බොහෝ බමුණු මත එක්වූ බව මගේ පෞද්ගලික මතයයි. ඒ නිසා ත්‍රිපිටකය ප‍රිශීලනයේදී අප එය හිතේ තියාගත යුතුයි.