කොපි කිරීම

“අලුත් අලුත් දෑ නොසිතන නොතනන ජාතිය ලොව නොනගී” කියල මම කොහේදෝ මන්දා කියවල තියෙනවා. ඒත් මතක නෑ කොහේද ? මේක කිව්වෙ ලාංකිකයෙක්ද නැත්නම් පිට‍රැටියෙක්ද කියල. මේ කාරණේ මට ආපහු මතක් වෙන්න හේතු උනේ මම SBU ගූගල් සමූහයේ පටන් ගත්ත ත්‍රෙඩ් එකක්. ඒ අනුන්ගෙන් කොපි කරල දාන බ්ලොග් සම්භන්ධයෙන්. අරමුණ මේ කාරණාව සම්භන්ධයෙන් අනෙක් සාමාජිකයන් දැනුවත් කිරීම. ඒ උනත් මට පෙනුණු කාරණයක් උනේ බොහෝ දෙනෙක් මේක අනුමත කරන බවයි. මෙයට විරුද්ධ අයත් නොසිටියා නොවේ. ඒත් බහුතරය කොපි කිරීමට එකඟයි. ලින්ක් එක යටින් දැම්මනම් හරි. ප්‍රජාතන්ත්‍ර වාදයට ගරු කරන කෙනෙක් හැටියට ඉතින් මම කට පියා ගත්තා.

අපේ බොහෝ දෙනෙක් මට පේන හැටියට ගුණාත්මකභාවයට වඩා ප්‍රමාණාත්මක භාවය ගැන සලකන අය. ඒ නිසා තමා මේ දේ වෙන්නෙ. (Quantity vs Quality). තොපට හොඳනම් අපට කවර නම් පුක්කාභාධයක්ද කියල නිකන් ඉන්නම් ඒ ගැන.

දවස් කීපයකට කලින් ලෙක්චර් එකකදී ඔය වගේ කතාවක් ඇදිලා ආව. අපේ ගුරුවරයෙක් කිව්වේ. දකුණු ආසියානු පරිඝණක ඉංජිනේරුවෝ බොහෝවිට copy & paste ක්‍රමයෙන් කටයුතු කරන බවයි. මොලේ වෙහෙසන්න උත්සාහ නොකර ගූගල් දෙයියාගෙන් අහල වැඩේ කරගන්න බවයි. ඒ උනත් බටහිර රටවල මිනිස්සු මේ දේට වඩා තමන් විසින්ම මේ දේ වටහාගෙන අලුතින් කෝඩ් ලියන බව තමයි කිව්වෙ. මේ දේවල් කිව්වේ කරන ලද ප‍ර්යේශණයක ප්‍රතිඵල අපට පෙන්නමින්. ඒ මොකද කියල ඔහු අපෙන් ඇහුව.

අපේ අයව ආරක්ෂාකර ගන්න මම පැනල උත්තර දුන්න. “if they want to re invent the wheel, so be it. and waste the time. we will use the wheel already invented, save time and think of something else to further develop.” (රෝදය ආපහු ගොයාගන්න උත්සාහ කරල කාලය කන්න ඒ අයට ඕනනම් කරපුවාවේ. අපි හොයාගත්තු රෝදය පාවිච්චි කරල් ඉතුරු වෙන වෙලාවෙන් වෙන දෙයක් කරන්නම්)

එතකොට ගුරුවරයා මෙහෙම ඇහුවා. “රෝදය අකාර්යක්ෂම නම් ? මීට වඩා හොඳ රෝදයක් සමහර විට නිපදවිය හැකි නම් ? පරමාණුව තවදුරටත් බිඳිය නොහැකියි කියල ඩෝල්ටන් කියපු එක පිලිගෙන අපි නිකන් හිටියනම්, එලෙක්ට්‍රෝන ආදිය අපි හොයා ගනීද ? රෝදයට හොඳම හැඩය රවුම කියල අපි කොහොමද දන්නෙ ? නිකන් ඉන්න වෙලාවක හිතල බලන්න. අපි අද ඉගන ගන්න හැම තාක්ෂණයක්ම බටහිරින්ම ආවෙ මොකද කියල ? අපි පාවිච්චි කරන හැම දේම හොයාගෙන තියෙන්නෙ කව්ද කියල. රෝදය නැවත හොයාගන්න එපා.. තියෙන එකම පාවිච්චි කරන්න. ලංකාව දියුණුවේ හිණිපෙත්තටම නගීවි.

මම හිතනවා. ඔබත් හිතා බලන්න. මේ දේට සම්භන්ධ දෙයක් අරුණි සහෝදරිය ලියල තියෙනවා. මෙතනින් ඒක කියවන්න.